ඇය සතු වූ ආකර්ශනීය සිහින් පෙනුම නිසාම තරුණයන් අතර උන්මාදනියක් වූ කාවින්ද්‍යා dew එක්ක තමයි Bilesma Crush වැඩසටහන තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
01. වෘත්තීමය වශයෙන් ඔබ කලාවට පිවිසීම සිදුවන්නේ කොහොම ද? ඒ මියුසික් වීඩියෝවක් හරහා ද? එහෙමත් නැත්නම් ටෙලිනාට්‍යයක් හරහා ද?
මගේ කලා ජීවිතයේ ආරම්භය සිදුවෙන්නේ මියුසික් වීඩියෝවක් හරහා. ඉන්අනතුරුව තවත් එවැනි රූප රචනා කිහිපයකටම මම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ සමඟ මට ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙස මෑත කාලයේ දී මගේ පළවෙනි ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දීමේ වරම මට හිමිවෙනවා වගේම දැනට එහි රූගත කිරීම් සියල්ල අවසන් වෙලා ළඟදීම තිරගත වීමට නියමිත යි.
02. වර්තමානය වන විට Instagram කියන්නේ කලාකරුවෙකුගේ ජනප්‍රියත්වය කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි ප්‍රබල තාක්ෂණික මෙවලමක්. ඉතින්, ඔබේ පළමු කලා නිර්මාණයත් සමඟ ඔබගේ Instagram ගිණුමෙහි followers ප්‍රමාණය කොපමණ ප්‍රමාණයකින් වැඩි වීමක් සිඳු වුණා ද?
ඇත්තටම මට ඒ ගැන ලොකු මතකයක් නැහැ. නමුත් මම මීට මාස තුන හතරකට විතර කළින් instagram ලිපියක් පල කරල තියෙනවා මගේ ගිණුමෙහි followers ප්‍රමාණය විසි දහස වීම හේතුවෙන්. එහෙම බලද්දි මම අනුමාන කරනවා මගේ පළමු නිර්මාණයෙන් පසුව මගේ instagram followers ප්‍රමාණය තිස්දහසකට ආසන්නව වැඩීවීමක් සිදුවෙන්න ඇති කියලා.
03. ඔබට ලංකාව පුරා සංචාරය කිරීමට වරම් ලැබුණොත් ඔබ ඒ සඳහා තෝරා ගන්නට කැමති කාර් එකක්ද? එහෙම නැත්නම් යාළුවො පිරිසක් සමඟ AC bus එකක් ද?
මම කාර් එක තමයි තෝරගන්නේ. මොකද මට ගොඩක් යාළුවො නැති නිසා ඉන්න දෙන්නා තුන් දෙනා එක්ක කාර් එකක වගේ ලංකාව වටේම යන්න තිබුණා නම් හොදයි. (සිනාසෙමින්)
04. ඔබ ලංකාව තුළ සංචාරය කිරීමට කැමතිම තැන කොහේද? එයට විශේෂ හේතුවත් අපි දැන ගන්න කැමතියි.
මම ලංකාවේ නම් යන්න කැමතිම නුවරඑළියට. මොකද කිවුවොත් මම එහේ දේශගුණයට ගොඩක්ම කැමතියි. නුවරඑළි ගිහින් සීතලේ ගුලි වෙලා නිදියගන්න තියෙනවා නම් ගොඩක්ම ආසයි. (සිනාසෙමින්)
05. ඔබ සංචාරය කරන අතරතුර සිදුවෙච්ච අමතක නොවන සිදුවීමක් එහෙම නැද්ද?
එක සැරයක් අපි සිංගප්පූරුවෙි ගත කරපු එක නත්තල් නිවාඩුවක දී එළියට ගිහින් විනෝද වෙන්න යෝජනා කරගත්තා. නමුත් මට අදහසක් තිබුණේ නැහැ අපි කොහෙද ඇවිදින්න යන්නේ කියලා ඒ නිසා මම හීල්ස් දෙකක් දාගෙන තමයි ගියේ. කොහොම හරි අපිට එදා දවස පුරාම පයින් ඇවිදගෙන යන්න සිද්ධ වුණා. අන්තිමේ දී මට ඇවිද ගන්න බැරි වෙන තරමටම මගේ කකුල් දෙක තුවාල වෙලා ළඟ තිබුණු ෂොප් එකකින් (සොක්ස් / මේස්) දෙකක් අරගෙන සපත්තු දෙක අතේ අරන් තමයි මට ඇවිදින්න සිද්ධ වුණේ. ඒ සිදුවීම නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
06. හිතන්න ඔයාට ඇලඩින්ගේ පුදුම පහන හමුවෙනවා කියලා. පහනේ භූතයා එලියට ඇවිත් ඔයාට වර තුනක් දෙනවා.කියන්න බලන්න ඔයාගේ ඉල්ලීම් තුන.
මේ වෙද්දි අපේ රට විතරක් නෙවෙයි මුලු මහත් ලෝකයම කොරෝනා වෛරසය හේතුවෙන් පීඩා විදිනවා. ඒ නිසා මේ වෛරසය ලෝකයෙන්ම තුරන් කරලා දෙන්න කියන එක තමයි මගේ පළමු ඉල්ලීම වෙන්නෙ. දෙවනියට ඉල්ලන්න තියෙන්නේ මගේ ජීවිතයේ ලොකුම සිහිනයක් වුණු දක්ෂතම නිලිය ලෙස හෝ ජනප්‍රියම නිලිය ලෙස සම්මානයට පාත්‍ර වීමේ සිහිනය සැබෑ කරලා දෙන්න කියලා. තුන්වෙනි වරය විදියට මම ඉල්ලනවා ඉස්සරහට මට මුහුණ දෙන්න තියෙන්න හැම විභාගයකින්ම මාව සමත් කරලා දෙන්න කියලා. (සිනාසෙමින්)
07. ලෝකයේ තියෙන ලස්සනම රට කුමක් ද සහ එයට හේතුව ?
මම හිතන විදියට ලෝකයේ තියෙන ලස්සනම රට තමයි සිංගප්පූරුව. තවත් බොහෝ රටවල් තියෙනවා වුණත් සමහර විට මම එහේ ජීවත් වෙන නිසා වෙන්න ඇති මම ඒ රටට ගොඩක් කැමතියි. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ රටේ සංස්කෘතිය සහ එහි ජීවත් වෙන මිනිස්සු එක්ක වැඩ කරද්දි ඒක හරිම පහසුයි. ඒ වගේම නිදහසේ තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නත් පුළුවන්.
08. කාවින්ද්‍යා කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනව ද? කොහෙද ඉගෙන ගෙන තියෙන්නේ සහ මොණවද ඉගෙන ගෙන තියෙන්නේ?
මම මේ වෙද්දි සිංගප්පූරුවේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටිනවා. නමුත් මේ දිනවල ලෝකයම මුහුණ පා සිටින තත්වය නිසා මගේ අධ්‍යාපන කටයුතුත් ටිකක් නතර වෙලා තමයි තියෙන්නේ. නමුත් නැවතත් විශ්වවිද්‍යාල කටයුතු ආරම්භ කල ගමන්ම මම ඉතිරි අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
09. ලංකාව තුළ tiktok පරිශීලනය ගැන ඔබේ අදහස මොණවගේ ද? ලංකාවේ තරුණ තරුණියන් සහ වෙනත් රටවල පිරිස් අතර tiktok භාවිතයේ දී වෙනසක් ඔබ දකිනව ද?
tiktok (පරිශීලනය / භාවිතය) පෞද්ගලිකව මම නම් දකින්නේ ගොඩක් හොද ප්‍රවණතාවයක් විදියට. මොකද බොහෝ අයගේ සැඟවුණු කුසලතා එළියට දාන්න tiktok කියන මාධ්‍යය හොද තෝතැන්නක් වෙලා තියෙනවා. මේ වෙද්දි ලංකාවේ tiktok පරිශීලකයන් ප්‍රමාණය instagram සහ facebook හා සසඳද්දී වැඩීවීමක් සිද්ද වෙලා තියෙනවා සහ විවිධ රටවලට අනුව එක් එක් පුද්ගලයන් සිදුකරන tiktok වීඩියෝ නිර්මාණ වෙනස් වෙන්න පුළුවන්. ලංකාවෙත් මේ වෙද්දි tiktok භාවිතයෙන් හොද ප්‍රතිරූපයක් ගොඩනගා ගත්ත පිරිසක් සිටිනවා නමුත් එය තීරණය වෙන්නෙ ඔවුන් එය භාවිතා කරන ආකාරය අනුව.
10. ලංකාවේ දැනට විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍ය මොකක් ද? එම නාට්‍යයේ ඔබ කැමතිම චරිතය කුමක් ද?
මම හිතන විදියට දැනට ලංකාවේ විකාශනය වන ජනප්‍රියතම සහ මම කැමතිම ටෙලි නාට්‍යය තමයි නාඩගම්කාරයෝ කියන්නේ. ඒ නාට්‍යයේ මගේ ප්‍රියතම චරිතය සංගීත් අයියා රංගනයෙන් දායකත්වය ලබා දෙන ‘කවඩියා’ කියන චරිතය. ඔහු ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරමින් දක්ෂ ලෙස රංගනයේ යෙදෙනවා කියලා මම හිතනවා.
11. රටේ මේ වන විට උද්ගත වී ඇති අයහපත් වාතාවරණයත් එක්ක ඔයාගේ රසික රසිකාවියන්ට අවසන් වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද?
මුලු ලෝකයම විශාල උවදුරකට මුහුණ පා සිටින මෙවැනි මොහොතක අපේ ජීවිත ආරක්ෂාව ගැන ලොකු වගකීමක් අපි හැමෝම අතේ තියෙනවා. ඒ නිසා නැවතත් හැමදේම යථා තත්වයට පත්වන තෙක් සියලු දෙනාම තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගනිමින් නිවෙස් වල රැදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
Add comment